ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේදී…
රටවල් 50ක නියෝජිතයන් 600ක් පමණ සහභාගී වීමට අපේක්ෂිතයි – වැඩසටහන නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 දක්වා
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වැනි සංවත්සර සැමරුම සහ 11 වැනි මහා සම්මේලනයට අදාළ විධායක කමිටු රැස්වීම ඇතුළත් ජාත්‍යන්තර වැඩසටහනක් 2026 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සංවිධායකයන්ගේ නිල වෙබ් අඩවියට අනුව, මෙම වැඩසටහන නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා දින හයක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය.
2026 පෙබරවාරි මාසයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වූ පරිදි, මෙම ජාත්‍යන්තර වැඩසටහන සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් විදේශීය නියෝජිතයන් 600ක් පමණ සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
ථෙරවාද, මහායාන සහ වජ්රයාන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා සහ ගිහි නියෝජිතයන් ඊට ඇතුළත් වීමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් භික්ෂූන් වහන්සේලා 500ක් පමණ සහභාගී කරවා ගැනීමට ද අපේක්ෂා කරන බව සංවිධායකයන් සඳහන් කර ඇති අතර
සංවිධායකයන්ගේ නිල තොරතුරුවලට අනුව නොවැම්බර් 28 වැනිදා කැලණියේ පිහිටි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී (Nāgānanda International Institute for Buddhist Studies – NIIBS) සමාරම්භක උත්සවය සහ 60 වැනි සංවත්සර සැමරුම පැවැත්වීමට සැලසුම් කර ඇත.
නොවැම්බර් 29 වැනිදා විධායක කමිටු රැස්වීම සහ අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව අනුරාධපුරය සහ මහනුවර ආශ්‍රිතව ආගමික වැඩසටහන් සංවිධානය කිරීමට ද සැලසුම් කර තිබේ
මෙම වැඩසටහන හරහා ජාත්‍යන්තර බෞද්ධ සම්ප්‍රදායන් අතර සහයෝගීතාව , අවබෝධය සහ ලෝක සාමය ප්‍රවර්ධනය කිරීමට හැකි බව අපේක්ෂාවයි.
1966 වසරේදී කොළඹදී ආරම්භ කරන ලද ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය එහි ආරම්භක රට වන ශ්‍රී ලංකාවේදී පැවැත්වීම විශේෂත්වයක් වන අතර මෙම ජාත්‍යන්තර හමුව ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමටත්, විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර සබඳතා ශක්තිමත් කිරීමටත් අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සටහන: මෙම ලිපියේ දිනයන් සහ වැඩසටහන් පිළිබඳ තොරතුරු සංවිධායකයන්ගේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදන සහ වැඩසටහන් කාලසටහන ඇසුරින් සකස් කර ඇත.
මූලාශ්‍ර: World Buddhist Sangha Council – නිල වෙබ් අඩවිය

